පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.04.28 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.
මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය. 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු පිරිසක් බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී හෙළිවිය. නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව අවධාරණය කළේ මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බවයි.
මෙරට උසස්පෙළ සහිත පාසැල් සංඛ්‍යාව 2952 ක් බවත් ඉන් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසැල් 1011 ක පමණක් බවත් ඒ අනුව පාසැල් 1941 ක විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. එනම් උසස්පෙළ සහිත පාසැල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැතිවීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා විය. STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සදහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති බවත් මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. මේ සදහා කඩිනමින් මැදිහත්වී උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.