නෙස්ලේ ලංකා පීඑල්සී කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවත් වීමට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම (NEST.N0000) එම ලැයිස්තුගත කිරීමෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඊයේ (මැයි 03දා) පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ සඳහා වන මූලික අනුමැතිය හිමි වුණු බව නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සමාගම මගින් නිකුත් කර ඇති කොටස් මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමේ අවසන් තීරණය සඳහා සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් මෙන්ම කොටස් හුවමාරුවෙහි නියාමකයන්ගේ අනුමැතියක්ද අවශ්‍යව ඇතැයි සමාගම සදහන් කළා.

මෙලෙස ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමේදී නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම මගින් නිකුත් කර ඇති සියලුම කොටස් එහි වැඩිම කොටස් හිමිකරුවා වන Nestle S.A. සමාගම මගින් මිලදී ගැනීමට කටයුතු කරනු ඇතැයිද මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

එහිදී සමාමේ කොටස් හිමිකරුවන්ට තමන් සතුව ඇති එක් කොටසක් සඳහා රුපියල් 1,500.00ක් බැගින් ගෙවා එම කොටස් මිලදී ගැනීමක් සිදු වනු ඇතැයිද වාර්තා වනවා.

මෙලෙස නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය සමාගමේ මීළග අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ගනු ලබනු ඇතැයිද සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

කෙසේ වෙතත් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත් වුණද, සමාගම මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන දායකත්වය තවදුරටත් දියුණු කරමින් පවත්වාගෙන යන බව නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පැවසුවා.

1906 වසරේදී පිහිටවුණු නෙස්ලේ ලංකා සමාගම අද වනවිට මෙරට තුළ වසර 115කට අධික කාලයක් සිය මෙහෙයුම් සිදු කරයි. එහිදී දහස් ගණනක් වූ ශ්‍රී ලාංකික පවුල් වෙත ජීවනෝපාය සකස් කරගැනීම සඳහා නෙස්ලේ ලංකා සමාගම දායකත්වය ලබාදී ඇතැයිද පවසයි.

අද වනවිට නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය පවතින්නේ Nestle S.A. සමාගමටයි. එය කොටස් 49,400,234ක් වන අතර එය 91.95%ක ප්‍රතිශතයකි. දෙවැනියට වැඩිම කොටස් හිමිකරුවා වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවන රක්ෂණ අරමුදලයි. එය කොටස් 264,404 ක් වන අතර 0.49%ක ප්‍රතිශතයකි. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල වෙතත් කොටස් ලක්ෂයක් හිමි අතර එය 0.19%ක ප්‍රතිශතයකි.

අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි කොටසක වටිනාකම රුපියල් 1,120.25ක් ලෙස සටහන් විය. ඒ අනුව අද දිනයේදී කොටස් 36ක් ගනුදෙනු වූ අතර, ගනුදෙනුවල වටිනාකම රුපියල් 40,395.50කි.

මීට අමතරව අද දිනය වනවිට නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමෙහි සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 60ක් (60,185,949,925.75ක්) ලෙස සටහන්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles