Twitter Inc. හි නව CEO ලින්ඩා වැකාරිනෝ

ලොව ජනප්‍රියතම කෙටි පණිවුඩ වැඩසටහන වන Twitter හි නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ලින්ඩා වැකාරිනෝ පත් කර ගත් බව එහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පවාසනාවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එලෝන් මස්ක් මේ බව පවසා තිබේ. ඔහු Twitter Inc. සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව ගත වූ කාලසීමාවේදී ඒ සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු සෙවූ බවයි.

ඒ අනුව ඉදිරියේදී ලින්ඩා මූලිකවම ව්‍යාපාරික මෙහෙයුම් පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවත්, ඊට අමතරව නව නිෂ්පාදන නිර්මාණය සහ නව තාක්ෂණය පිළිබඳවද අවධානය යොමු කරනු ඇතැයි මස්ක් පවසා තිබෙනවා.

එසේම ඉදිරියේදී මෙම Twitter වැඩසටහන තුළ සෑම දෙයක්ම ඇතුළත් කරමින් එම වේදිකාව වෙනස් කිරීමට ලින්ඩා සමගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මස්ක් මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

ලින්ඩා එක්සත් ජනපදයේ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වසර 30කට අධික අත්දැකීම් සහිත විධායක නිලධාරිනියක බව පැවසෙයි. මීට පෙර ඇය NBCUniversal. සමාගමේ දැන්වීම්කරණ අලෙවි අංශයේ සභාපතිනිය ලෙසින්ද කටයුතු කරයි.

මෙම නව පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අනාවරණය කර සිටි මස්ක්, තමන් Twitter සඳහා නව ප්‍රධාන විධායක නිලධාරිනියක පත් කරගත් බවත්, ඇය තවත් සති හයක කාලකින් පසුව කටයුතු ආරම්භ කරනු ඇති බවත් පවසා තිබුණි.

එසේම මෙම නව පත් කිරීමත් සමගින්ම මෙතෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය දැරූ තමන් එහි විධායක සභාපතිවරයා සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා බවට පත් වන බවත් ඔහු පවසා ඇත. එහිදී නිෂ්පාදන,මෘදුකාංග ඇතුළු කටයුතු වෙත තමන් අවධානය යොමු කරන බව ඔහු සඳහන් කර ඇත.

එලෝන් මස්ක් 2022 වසරේ ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 44කට Twitter Inc. සමාගම මිලදී ගත්තේය.

එම අවස්ථාවේදී එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානුවෙකු වන පරාග් අග්රාවාල්ය. කෙසේ වෙතත් මස්ක් සිය අත්පත් කරගැනීමෙන් අනතුරුව පරාග් Twitter හි ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉවත් කළේය. එසේම එහි සේවක සංඛ්‍යාවද ඔහු අඩු කළේය.

ඉන් අනතුරුව තමන් Twitter හි නව ප්‍රධාන විධායක නිලධාරි ධුරය සඳහා සුදුසු මෝඩයෙකු සොයමින් සිටින බවටද මස්ක් සිය ට්විටර් සටහනක් තැබුවේය.

මේ අතර Twitter හි නව ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ලින්ඩා පත් කිරීමත් සමගින්ම එම සමාගමේ කොටස් වටිනාකම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයිද වාර්තා වෙයි. ඒ අනුව අද දිනය වන විට එම කොටසක වටිනාකම ඩොලර් ඩොලර් 53 ක සිට 55.64ක් බවට පත්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles