ලංකාවේ පොඩි වී ගොවීන්ට ජපානයෙන් ඩොලර් මිලියන 4.6ක්

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපවල පිහිටි තෝරාගත් දිස්ත්‍රික්කවල කුඩා පරිමාණ වී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළ නැංවීම සඳහා ජපාන රජය ඇමරිකානු ඩොලර් 4,629,629ක් පිරිනමා තිබෙනවා.

කුඩා පරිමාණ වී ගොවීහු ප්‍රධාන වශයෙන් තම පරිභෝජනය සඳහා සහල් වගා කරන අතර ඔවුන් වඩාත් අවදානමට ලක්විය හැකි ග්‍රාමීය ප්‍රජාවකි. නොකඩවා කන්න දෙකකදී පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්නේ සැලකිය යුතු ලෙස පහත වැටීමක් සිදු වූ අතර සමහර ගොවීන් තම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා සෘණාත්මක හැඩගැසීම් (උකස් කිරීම, ණය ගැනීම, ඉතුරුම් වියදම් කිරීම යනාදිය) අනුගමනය කිරීමට පෙළඹුනි.

වියළි හා අතරමැදි කලාපවල හඳුනාගත් දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා ඉඩම්වල වගා කරන කුඩා පරිමාණ සහල් ගොවීන් 250,000 කට පමණ ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර කිලෝග්‍රෑම් 50 දක්වා මෙම වැඩපිළිවෙළ හරහා ලැබෙනු ඇත. එම පොහොර කිසිදු වියදමකින් තොරව බෙදා හරින අතර, එය බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහයවෙති. නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා පොහොර ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබඳව කුඩා පරිමාණ වී ගොවීන් දැනුවත් කිරීමක්ද මෙම මුලපිරීම මගින් සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝශි හිදෙඅකි වැඩපිලිවෙල පිළිබඳව මෙසේ පැවසීය. “විදේශ විනිමය හිඟය හේතුවෙන් හිඟව පවතින පොහොර ලබාගැනීම සඳහා තවදුරටත් මානුෂීය ආධාර ලබාදීමට ජපාන රජය තීරණය කර ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙම ආධාරය ආහාර නිෂ්පාදන ධාරිතාව පූර්ව අර්බුද මට්ටම්වලට ප්‍රතිෂ්ඨාපනය කිරීමට උපකාරී වනු ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කුඩා පරිමාණ වී ගොවීන්ට වඩා හොඳ ජීවනෝපායක් සහ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට අත්‍යාවශ්‍ය ආහාර සඳහා ස්ථාවර ප්‍රවේශයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු“.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් මහතා වැඩපිලිවෙල පිලිබඳව මෙසේ අදහස් දක්වන ලදී. “FAO, අප හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර අවදානමට ලක්විය හැකි ගොවීන්ට සහ ධීවරයින්ට ඔවුන්ගේ ජීවනෝපාය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා සෑම තරාතිරමකදීම පෙනී සිටියි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණු වෙමින් පවතින නමුත්, යලි යථා තත්ත්වයට පැමිණීමට තවත් වගා වාර තුන හතරක් ගත විය හැකිය. ඒ සඳහා සහාය වීම පිළිබඳව අපි ජපාන රජයට ස්තුතිවන්ත වන අතර, ඔවුන් සපයනු ලබන සහයෝගය මගින් 2023 දී නිෂ්පාදනය ඉහළ නැංවෙනු ඇතැයි අපි විශ්වාස කරමු“.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles