Elephant House අනුග්‍රහයෙන් Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව නවීකරණය කරයි

එලිෆන්ට් හවුස් සමාගමේ ආයතනික ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ පසුගියදා මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Viridis හා එක් වී එම සමාගමේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාව වැඩිදියුණු කිරීමට පියවර ගත්තා.

පනාගොඩ ටෙම්පල්බර්ග් කර්මාන්ත පුරයේ පිහිටා ඇති Viridis ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවට වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 750 ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව පවතිනවා.

වඩාත් හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා මෙරට PET ප්ලාස්ටික් සහ අනෙකුත් ඉවතලන ප්ලාස්ටික් වැඩි වශයෙන් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙම හවුල්කාරීත්වයෙහි අරමුණයි.

“මෙරට ඉවතලන ප්ලාස්ටික් එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුකරන සමාගම්වලට මෙලෙස අත්වැලක් වීම සම්බන්ධයෙන් සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගමට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. තරුණ තරුණියන් පිරිසක් මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටිනු අපට පෙනෙනවා. පරිසරය සුරැකීම සඳහා මෙවැනි තරුණ කණ්ඩායම් ගන්නා උත්සාහය අප අගය කළ යුතුයි. Viridis සංවිධානයේ ඉදිරි කටයුතු සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබාදීමට අප සූදානම්.” අනිල් ජාසිංහ මහතා විවුර්ථ කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කළා.

ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ සභාපති (පාරිභෝගික ආහාරපාන) දමින්ද ගම්ලත් මහතා සදහන් කළේ “මෙය එලිෆන්ට් හවුස් සහ Viridis යන දෙපාර්ශ්වයටම ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා අප සාමූහිකව පියවර ගෙන ඇති අතර, ඉදිරියටත් PET ප්ලාස්ටික් එක්රැස් කිරීමේ සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු පුළුල් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අප සූදානම්. එය ඉවතලන ප්ලාස්ටික් මගින් පරිසරයට ඇතිවන බලපෑම අවම කිරීමට මහෝපකාරී වේවි.” යනුවෙනුයි.

2006 වසරේදී ආරම්භ වූ Viridis සමාගම, ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන සමග සම්බන්ධ සමාගමක්.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබෙන එම සමාගම, ප්ලාස්ටික් එක්රැස් කිරීම සඳහා තමන් සතු රථවාහන එකතුවක්ද යොදවා තිබෙනවා.

2007 වසරේදී සමාගම PET බෝතල් කොටස් අපනයනය කිරීම ආරම්භ කළ අතර, වෙනත් ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රීකරණය කිරීමද ආරම්භ කලා.

2013 වසරේදී PET බෝතල් එක්රැස් කිරීමේ හා පිරිසැකසුම් කිරීමේ ක්‍රියාවලිය ප්‍රථම වරට මසකට ටොන් 100 සීමාව පසුකළ අතර, 2014 වසරේදී එය ටොන් 130 පසුකකළා.

2016 වසරේදී අපනයන කටයුතු ආරම්භ කළ Viridis සමාගම, 2018 වසරේදී ප්‍රතිචක්‍රීකරණය සහ අපනයනය සඳහා පොලිකාබනේට් එකතු කිරීම ආරම්භ කළ අතර, භාවිතා කරන ලද ප්ලාස්ටික් යොදාගනිමින් දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා කොසු කෙඳි නිපදවීමද ආරම්භ කරන ලදි. එතැන් පටන් සමාගම ශ්‍රී ලංකාව මුහුණ දෙන විවිධාකාර පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවීමේ උත්සාහයන්ට නන් අයුරින් දායක වී ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන් කැපවී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles