වාහන ආනයනයට මේ මොහොතේ අවසර දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
පවතින තත්ත්වය හමුවේ රථ වාහන ආයනයනයට අවසර ලබා දිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය තව දුරටත් භාණ්ඩ 900ක් පමණ ආනයනය සීමා කරමින් දැඩි අධ්‍යනයකින් යුතුව ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවයි. රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (16) මේ බව සදහන් කළා.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :
“අද ඩොලරයේ මිල තීරණය වන්නේ ඊට ඇති ඉල්ලුම සැපයුම මතයි. නමුත් මීට පෙර අපි සතුව තිබුණ සංචිත මුදා හරිමින් ඩොලරය පාලන කිරීමට උත්සහ කළා. අද ඉල්ලුම සහ සැපයුම මත ඩොලරයේ අගය තීරණය කරල තියෙනවා. රුපියල් 360ට ඉහළ ගිය ඩොලරයේ අගය පහළ බැස්සේ ඩොලර් ලැබෙන මාර්ග වර්ධන වුණ නිසයි. සංචාරක කර්මාන්තය වර්ධනය වුණා. විදේශයන්වල සිටින අපේ සහෝදරයන් එවන ප්‍රේෂණ වැඩි වුණා. ඒ වගේම ඩොලර් පිටතට ඇදී යන ආනයනයන් සීමා කළා. නමුත් පහුගිය සතියේ දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් මිල දී ගන්න ඩොලර් මිලියන 75ක් 80ක් පමණ අවශ්‍ය වුණා. මෙම මුදල මහ බැංකුව මිල දී ගත්ත. ඒ නිසා ඩොලරයේ අගය යළිත් ඉහළ යාමේ තත්ත්වයත් උදා වුණා. ඒ වෙලාවෙ ඩොලර් මගින් ආයෝජනය කරන පාර්ශ්ව ඩොලරය ඉහළ යයි කියන අපේක්ෂාව මත ඒවා මිල දී ගත්ත. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වුණේ. මේක සාමාන්‍ය තත්ත්වයක්.” යැයි සියඹලාපිටිය මහතා සදහන් කළා.