රජයට අය විය යුතු රුපියල් කෝටි ගණනක සුරාබදු නොගෙවූ ආයතනවල බලපත්‍ර තාවකාලිකව අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සියලු මත්පැන් නිෂ්පාදන සමාගම්වලට දැනුම් දී තිබෙනවා.
මෙලෙස සුරාබදු නොගෙවූ මත්පැන් සමාගම් කිහිපයකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර මේ වන විට එහිදී ඇති වූ එකඟතාවන් අනුව බදු මුදල් කොටස් වශයෙන් ගෙවනු ලබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
තවත් සමාගම් කිහිපයක් අධිකරණමය කටයුතුවලින් තොරව ඇති වූ එකඟතාවන් අනුව හිඟ බදු මුදල් මේ වන විට ගෙවමින් පවතින බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා.
‘‘සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සුරාබදු ගෙවීම පැහැර හරින ලද මත්පැන් සමාගම්වලට, එම බදු කඩිනමින් ගෙවන ලෙස දැනටමත් දැනුම් දී තිබෙනවා. එම මුදල් ගෙවීම තවදුරටත් අදාළ සමාගම්වලින් පැහැර හැරියහොත්, ඔවුන්ට ලබාදී තිබෙන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ද දැනුම් දී තිබෙනවා’’ යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසුවා.
‘‘යම් සමාගමක් මත්පැන් නිෂ්පාදනය කළහොත් එම මත්පැන් අලෙවි වුණත් නැතත් දින 15ක් ඇතුළත බදු මුදල් ගෙවිය යුතුයි. සුරාබදු නොගෙවූ සමාගම් කිහිපයකට මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඇතැම් සමාගම් කොටස් වශයෙන් හිඟ බදු මුදල් ගෙවමින් පවතිනවා. තවත් මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයකට සුරාබද්ද සහ එය නිසිපරිදි නොගෙවීම නිසා එකතු වූ පොලියද සමග විශාල මුදලක් ගෙවීමට තිබෙනවා’’ යැයි අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සදහන් කළා.
2022 වර්ෂයේ අවසානය දක්වා ආයතන හතරකට අදාළව රුපියල් කෝටි දෙසිය තිස් අටකට අධික සුරාබදු මුදලක් වසර පහකට වැඩි කාලයක් අය කර නොමැති බව විගණකාධිපතිවරයාද වාර්තා කර තිබෙනවා.
2023 වසරේ රජයේ අපේක්ෂිත සුරාබදු ආදායම රුපියල් බිලියන දෙසිය තිහක්.