ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ කිරිගව පාලනය හා කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය සැලසීමට අමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගිතා සංවිධානයක් වන International Executive Services Corps එකඟතාව පළ කර තිබෙනවා.
මේ පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් පෙරේදා (02) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ IESC ආයතනයේ ප්‍රධාන විධායක/ සභාපති David Hartinch මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
මෙරට තුළ දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලනය කරන ඒකකවල ධාරිතාව ඉහළ නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගිතාව දීම මේ යටතේ IESC ආයතනය විසින් සිදු කරනු ලබන බව සඳහන්.
මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන අතර, IESC ආයතනය එම සියලු කටයුතු මෙහෙයවන බවයි වාර්තාවන්නේ.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ඒකක මෙම වැඩ පිළිවෙළ සඳහා ඒකරාශි කර ගැනීමට නියමිතයි.
මේවන විට දිනකට කිරි ලීටර් 100කට වඩා අඩු මට්ටමක පවතින කිරි නිෂ්පාදන ඒකක රැසක් හඳුනාගෙන ඇති අතර එම ඒකකවල කිරි නිෂ්පාදනය වැඩි කිරීම මගින් ගොවි ජනතාවගේ දෛනික ආදායම ඉහළ නැංවීම මෙහි අරමුණවී තිබෙනවා.
මෙම අවස්ථාවට එක්වෙමින් IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch මහතා සඳහන් කළේ, ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම තම සංවිධානයේ අරමුණවන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බවයි.
කිරි ගොවියා වෙනුවට කිරි නිෂ්පාදන ව්‍යවසායකයකු දක්වා කිරි ගොවියා නංවාලීම මගින් කිරි කර්මාන්තය සඳහා යොමු නොවන තරුණ ප්‍රජාව මේ කර්මාන්තය සඳහා ආකර්ශණය වීම මෙම වැඩ පිළිවෙළ මඟින් සිදු විය යුතු බව මේ අවස්ථාවට එක් වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසනවා.