ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලය (ILO) සමඟ එක්ව ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක් එළඹෙන නොවැම්බර් 16 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හිදී අදාළ පළාත් උත්සව සංවිධාන කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුම්වත්භාවය පුළුල් කිරීමේ පරමාර්ථයෙන් වාර්ෂික පාසල් දින දර්ශනයට පාසල් ව්‍යවසායකත්ව දිනය ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාව පළ කර තිබෙනවා.
මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසර සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා දරුවන් තුළ ව්‍යවසායකත්වය පිළිබඳව කුසලතාවන් වර්ධනය කිරීමට බලාපොරොත්තුවන බව සඳහන්.
ව්‍යවසායකත්වය යනු රටක සමාජ සහ ආර්ථික යහපැවැත්ම කෙරෙහි තුඩු දෙන මූලික සාධකයකක්වන අතර එමඟින් නවෝත්පාදනයට, රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට අවස්ථාවන් නිර්මාණය කරනවා.
නව අදහස්, නිෂ්පාදන සහ සේවා හඳුන්වාදීම හරහා තරගකාරිත්වය ඇති කරමින් ව්‍යවසායකයින් රටේ සමස්ත ජීවන තත්ත්වය ඉහළ නංවනවා.
එමෙන්ම කර්මාන්ත විවිධාංගීකරණය උදෙසා ව්‍යවසායකත්වය තුළින් විශාල දායකත්වයක් හිමිවන අතර රටේ ආර්ථිකය තනි ආර්ථික අංශයක් මත යැපීම අවම කරන බවද සඳහන්.
තවද, ව්‍යවසායකත්වය මඟින් තම මූල්‍ය තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සවිබල ලබා දෙන අතරම , පුද්ගලයන් තුළ ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය පෝෂණය කරනවා.
Schoolpreneur 2023 හි අපේක්ෂාව වන්නේ, මෙම අත්‍යවශ්‍ය කුසලතාවන් දරුවන් වෙත කඩිනමින් ලබා දෙමින් තාරුණ්‍යය අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීම බවයි වාර්තාවන්නේ.
මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතා දැක්වූ අදහස්,
“වර්තමානය වන විට ව්‍යවසායකත්වය අපේ රටට ඉතාම වැදගත් අංශයක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්, දිවයින පුරාම ව්‍යවසායකත්ව සමාජ පිහිටුවීම ඇතුළුව අධ්‍යාපන ආයතන තුළ ව්‍යවසායකත්වය පෝෂණය කිරීමේ සැලකිය යුතු දියුණුවක් අපට දකින්න ලැබෙනවා. එය සක්‍රිය කිරීම සඳහා ලබා දෙන දායකත්වය වෙනුවෙන් මම ලංකා වාණිජ මණ්ඩලයට, ජාත්‍යන්තර කම්කරු සංවිධානයට හා සහයෝගිතාව ලබා දෙන අනෙකුත් ආයතනයන් වෙත මගේ ප්‍රණාමය පුද කරනවා.”
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහාවන ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය ප්‍රකාශ කළ අදහස්,
“ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙම පුරෝගාමී පියවර තුළින් රට තුළ තරුණ ව්‍යවසායකත්වය පෝෂණය කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීමට අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් සාම්ප්‍රදායික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් යටතේ ඉලක්කගත නොවන පාසල් සිසුන් අතරටද මේ හරහා ව්‍යවසායකත්වය පිළිබඳව දැනුම රැගෙන යාමට අපට හැකියාව ලැබෙනවා. රටක ආර්ථික වර්ධනය සහ ප්‍රගතිය මෙහෙයවීම සඳහා ව්‍යවසායකත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දැනටමත් ද්විතීයික පාසල් මට්ටමින් මෙම කුසලතාව පෝෂණය කිරීම සඳහා කටයුතු කර ඇති අතර එමඟින් තාරුණ්‍යය සිය අනාගත වෘත්තීය ජීවිතය යහපත් කර ගනිමින් ඔවුන්ගේ පවුල්වල මෙන්ම ප්‍රජාවගේ සහ රටේ යහපැවැත්මට දායක වනු ඇතැයි අපි විශ්වාස කරනවා.”