බදු වැඩි නිසා මිල වැඩියි – සිගරට්, මත්පැන් අලෙවිය අඩුයි

2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළදී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව වාර්තාවනවා.

මේ බව සඳහන් කර ඇත්තේ, මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලයන් බෲවරි (සිලෝන්) PLC සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින්.

ඔවුන් පවසන්නේ 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවලදී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි.

බදු ඉහළ නැංවීම හමුවේ මත්පැන් මිල ඉහළ යාම මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවත් මේ හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් භාවිතය මේවන විට කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත් ලයන් බෲවරි සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් රජයට අයවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමිවී යනු ඇති බවයි.

2023 සැප්තැම්බර් කාර්තුව තුළදී ලයන් බෲවරි සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 27.35 ක් ලෙසින් සටහන් වන අතර එය 2022 අදාළ කාර්තුවේ ආදායම් අගය වූ රු. බිලියන 25 ට වඩා 9% ක වර්ධනයක්වන බව සඳහන්.

මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන්නේ එම කාර්තුව තුළදී සිය සමාගමේ අලෙවි පරිමාවද පහළ ගොස් ඇති බවයි.

රජයේ ආදායම් යෝජනා අනුව බදු ඉහළ නැංවීම් හමුවේ සිගරට් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් අලෙවිය පහළ වැටීමට හේතුවී ඇති බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම වාතාවරණය තුළ බීඩි සහ නීතිවිරෝධී දුම්වැටි සඳහා ඉල්ලුම වැඩිවී ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසනවා.

ලංකා දුම්කොළ සමාගමේ මූල්‍ය වාර්තා ප්‍රකාරව 2022 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 47.12 ක් ලෙසින් සටහන්වී ඇති සමාගමේ විකුණුම් ආදායම 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 44.76 ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තාවනවා.

මෙරට මත්පැන් කර්මාන්තයේ නිරත තවත් දැවැන්ත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකාහි අලෙවියේ පසුබෑමක්ද සමාලෝචිත කාලපරිච්ඡේදය තුළදී දැකගත හැකියි.

2022 සැප්තැම්බර් කාර්තුවේ ඩිස්ටිලරීස් සමාගමේ ආදායම රු. බිලියන 62.43 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 57.29 ක් දක්වා අඩුවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles