ඉන්ධන සහ ගල් අඟුරු සඳහා ගෙවීමට තිබූ ඇ .ඩො.මිලියන 500ක ණයවර ලිපි වලට මහජන බැංකුව මුදල් ගෙවයි

ඉන්ධන, ගල් අඟුරු සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා විවෘත කර තිබූ ණයවර ලිපි (LCs) වෙනුවෙන් ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදල් මැයි 20 වැනිදා ගෙවූ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශ කළා.

අදාල ඩොලර් මිලියන 500 පිළිබඳ පැහැදිලි කරමින් රාජපක්ෂ මහතා පැවසුවේ මාසිකව ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති නිසා විදේශ ප්‍රේෂණයන්හි තම බැංකුවේ කොටස 18% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අභියෝග රැසක් හමුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩ ගැනීමට අත්‍යාවශ්‍ය ආනයන මෙරටට ගෙන ආ යුතුව තිබුණ බවත් ඒ හේතුවෙන්සිදු කළ යුතු ආර්ථික කටයුතුවලට අදාළව විදේශ විනිමය ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වූ බව ඔහු ප්‍රකාශ කළා.

එම නිසා ණයවර ලිපි විවෘත කිරීම හරහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීම මගින් එම දුෂ්කරතාවය මඟහරවා ගැනීමට සහය දීම මහජන බැංකුවේ ඒකායන අරමුණ වූ බව ඒ මහතා පෙන්වා දුන්නා.

ඒ අනුව බැංකුව විසින් ණයවර ලිපි සඳහා ගෙවීමට නියමිතව තිබූ මුදල් ගෙවීම කල් දමා තිබුණ අතර ඒවා ඉතා මිත්‍රශීලීව සහ ඉහළ මට්ටමේ සාකච්ඡා මගින් සිදු කළ බව පැවසූ රාජපක්ෂ මහතා මැයි 20 වැනිදා වන විට ණයවර ලිපි සඳහා ගෙවීමට තිබූ සියලුම ගෙවීම් අවසන් කිරීමට බැංකුවට හැකි වූ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles