Lyca Productions ශ්‍රී ලංකා සම්ප්‍රප්තිය

ඉන්දියාණු සිනමාව කැලබූ Lyca Productions ශ්‍රී ලංකා සම්ප්‍රප්තිය පසුගියදා සිදු වුණා.

ඒ අනුව ලොව පුරා විසිර සිටින සිනමා රසිකයින්ට ප්‍රමිතියෙන් උසස් තත්ත්වයේ සිනමා නිෂ්පාදන හා සේවා සපයන Lyca සමූහයට අයත් ඉන්දියාවේ Lyca නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කරීම ආරම්භ කර තිබෙනවා.

Lyca Productions Sri Lanka නමින් නම් කර ඇති මෙම සමාගමේ සමාරම්භක අවස්ථාව කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

Ponniyin Selvan, Kaththi, 2.0, Enakku Innoru Per Irukku, Diya, Panni Kutty, Don, Naai Sekar Returns, Raangi මෙන්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත Chandramukhi 2, Lal Salaam, AK – 62, Thalaivar 170 සහ Indian 2 වැනි සුවිසල් සිනමා පට නිපදවූ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන Lyca Productions India හි අනුසමාගමක් ලෙසින් Lyca Productions Sri Lanka සමාගම දැන් මෙරටදී චිත්‍රපට නිෂ්පාදනය සඳහා කටයුතු ආරම්භ කර ඇත්තේ ලාංකේය සිනමාවේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණේ Lyca Productions නිර්මාතෘ Lyca සමූහයේ සභාපති ආචාර්ය අල්ලිරාජා සුභාෂ්කරන් මහතායි.

මෙම අවස්ථාවට ඔහුගේ මෑණියන් වන ඥානම්භිගායි සුභාෂ්කරන් මහත්මිය සහ දයාබර බිරිඳ ප්‍රේමා දර්ශනී සුභාෂ්කරන් මහත්මිය ඇතුළු ලයිකා සමූහයේ නිලධාරීන්ද, මෙරට සහ ඉන්දීය සිනමා තරු රැසක් ද මෙම උත්කර්ෂවත් රාත්‍රියට එක්වුණා.

විචිත්‍රවත් නැටුම් ගැයුම්වලින් සමන්විත වූ මේ වර්ණවත් රාත්‍රියට මෙරට ව්‍යාපාරික ප්‍රධානීන්, ප්‍රධාන විධායක නිලධාරීන්, ක්‍රීඩකයින් ඇතුළු සිනමා ප්‍රධානීන් රැසක් ද සිය සුබ පැතුම් එක් කිරීමට පැමිණ සිටිනු දක්නට ලැබුණා.

Lyca Productions Sri Lanka මෙරටදී ආරම්භ කෙරුණේ Lyca සමූහයෙන් 2014 දී පිහිටවූ Lyca Productions India හි දිගුවක් ලෙසයි.

ඒ අනුව ඉදිරියේදී Lyca Productions Sri Lanka වෙතින් මෙරට ප්‍රේක්ෂකයින් සඳහා අතිදැවැන්ත නවීන තාක්ෂණය හා මුසුවූ විශිෂ්ට සිනමා කෘතීන් 6ක් දායාද කිරීමට සියලු කටයුතු මේ වනවිටත් සූදානම් කර අවසන්.

මෙහි පළමු අදියරේදී සිංහල චිත්‍රපට 5ක් සහ දමිළ චිත්‍රපටයක් Lyca Productions Sri Lanka තුළින් නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඒ සඳහා මෙරට කීර්තිමත් ජනකාන්ත අතිදක්ෂ සිනමාවේදීන් 5 දෙනෙකු සහ ඉන්දීය සිනමා අධ්‍යක්ෂවරයෙකු යටතේ සිනමා නිර්මාණයන් ප්‍රේක්ෂකයින් වෙත තිලිණ කරන්නට Lyca Productions Sri Lanka මුලපුරා අවසන්.

ඒ අනුව ලසිත් මාලිංගගේ ජීවිත කතාව ඇතුළත් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන “මාලි – යෝකර් කිංග්” ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන “දේවි කුසුමාසන” චන්න පෙරේරා අධ්‍යක්ෂණයෙන් කරන “ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්” හෙවත් “තරු මිතුරෝ” . අසෝක හඳගම අධ්‍යක්ෂණය කරන “ආර්.ආර්. 75” සහ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ එල්.රාජ්කුමර්ගේ මෙහෙයවීමෙන් දිගහැරෙන “චන්ද්‍රකාසම්” Lyca Productions Sri Lanka සිය ලංකා ගමනේ පළමු අදියරේ නිපදවන සිනමාපටයි.

මේ උත්කර්ෂවත් රාත්‍රියේදී එම අධ්‍යක්ෂවරුන් සහ රංගන ශිල්පීන් නිල වශයෙන් Lyca Productions Sri Lanka මගින් හඳුන්වාදීමේ අවස්ථාව සිදු කෙරුණේ Lyca සමූහයේ සභාපති, Lyca Productions නිර්මාතෘ ආචාර්ය අල්ලිරාජා සුභාෂ්කරන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles