පසුගිය වසරේ මද්‍යසාර නිෂ්පාදනය පහළට

පසුගිය වසරේ මද්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වී ඇති බව​ත් කාලේ බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15කින් අඩු වී ඇති බවත් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, 2022 වසරේ දී මිලිලීටර් 750 මද්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී මිලියන 39.5 දක්වා අඩු වී ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ​දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකයට පිළිතුරු දෙමින්.

2022 වසරේ දී මිලියන 46.8ක් නිෂ්පාදනක් සිදු කළ මිලිලීටර් 375 බෝතල් ප්‍රමාණය වෙනුවෙන් 2023 වසරේ දී නිෂ්පාදනය කර ඇත්තේ බෝතල් මිලියන 36.6ක ප්‍රමාණයක් බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

එහිදී රංජිත් සියඹලාපිටිය මහ​තා සඳහන් කළේ, 2022 වසරේ දී මිලියන 105.8ක් නිෂ්පාදනය කළ මිලිලීටර් 180 බෝතල් ප්‍රමාණය 2023 වසරේ දී මිලියන 90.5 දක්වා පහත වැටී ඇති බවයි.

මේ අතර 2023 වසර තුළ පමණක් අලුතෙන් මද්‍යසාර බලපත්‍ර 214ක් නිකුත් කර ඇති බවත් ඉන් 147ක් ම සංචාරක කර්මානය වෙනුවෙන් නිකුත් කරනු ලබ​න රාබී 7, 8 සහ 11 වර්ගයේ ඒවා බවත් අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති සමස්ත මද්‍යසාර බලපත්‍ර ප්‍රමාණය 5730ක් බවයි.

නිත්‍යනුකූල මද්‍යසාර සැ​ල් ඇති වීම මගින් මධ්‍යසාර භාවිතය ඉහළ යන බවට මත පළ වුව ද සිදු වන්නේ නීත්‍යානුකූල මධ්‍යසාර නොමැති ප්‍රදේශවල නීති විරෝධී මධ්‍යසාර බහුල ලෙස ප්‍රචලිත වීම බව අමාත්‍යවරයා පවසනවා.

එබැවින් සිදු කළ යුත්තේ ඒවාට වැට බැඳීම සහ අහිමි වන බදු ආදායම ලබා ගැනීමට කටයුතු කිරීම බව සියඹලාපිටිය මහතා කියා සිටියා.

රජය කිසිදු අවස්ථාවක මද්‍යසාර භාවිතය ප්‍රවර්ධනය නොකරන බව කියා සිටි අමාත්‍යවයා පෙන්වා දුන්නේ මධ්‍යසාර බලපත්‍ර ගාස්තු ද ඉහළ නැංවීමට කටයුතු කර ඇති බවයි.

මද්‍යසාර බෝතලයක මිලෙන් 75%ක් බදු ලෙස අය කරන අතර වැඩි බදු ප්‍රමාණයක් අය කරන්නේ මද්‍යසාරවලින් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles