ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීමක්

ඊශ්‍රායල – හමාස් යුද්ධය හේතුවෙන් මැද පෙරදිග තෙල් සැපයුමට සැලකිය යුතු බාධාවක් එල්ල නොවන බව තහවුරු වීමත් සමඟ පසුගිය සති 04 මුළුල්ලේ පහත වැටුණු ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් යථා තත්ත්වයට පත්වීමක් දක්නට ලැබෙනවා.

සැප්තැම්බර් මාසය අවසානයේ සිට තෙල් මිල 20%කින් පමණ පහත වැටුණු අතර දැන් නැවතත් මිල ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ නිෂ්පාදන කප්පාදුව වැඩිකිරීමට ඔපෙක් ප්ලස් (OPEC +) කණ්ඩායම සැලසුම් කිරීම හේතුවෙන්.

ඔපෙක් සංවිධානයේ සාමාජිකයන් මෙන්ම රුසියාව ඇතුළු තෙල් අපනයන කරන අනෙකුත් රටවල් ලබන 26 වනදා රැස්වී ඒ පිළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

එම පුවත වාර්තාවීමත් සමග පසුගිය සිකුරාදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4%කින් පමණ ඉහළගොස් තිබුණා.

එහිදී වාර්තාවන්නේ, (OPEC +) ඔපෙක් ප්ලස් කණ්ඩායම දිනකට තෙල් බැරල් මිලියනය බැගින් අතිරික්ත කප්පාදුවක් සැලසුම් කරන බවයි.

දැනට ක්‍රියාත්මක නිෂ්පාදන කප්පාදුව නිසා ඔපෙක් රටවල තෙල් නිෂ්පාදනය 2021 වසරේ අගෝස්තු මාසයෙන් පසු පහළම අගයක පවතින බවත් සෞදි අරාබිය අතිරේක තෙල් බැරල් මිලියනයක දෛනික නිෂ්පාදන කප්පාදුවක් ක්‍රියාත්මක කරන බවත් සඳහන්වනවා.

නව නිෂ්පාදන කප්පාදුව පිළිබඳ බලාපොරොත්තුව නිසා පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 77.42ක් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වන්නේ ඩොලර් 81.24ක් ලෙසයි.

අමෙරිකානු WTI තෙල් බැරලයක මිල පසුගිය නොවැම්බර් 16 වනදා ඩොලර් 73.09ක් ලෙස සටහන්වූ අතර එය අද වනවිට ඩොලර් 76.59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles