ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය“Industry EXPO 2024” ජුනි 19 සිට BMICH හිදී

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවයි.

රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.”

එමෙන්ම මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට අන්තර්ගත වන අතර නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්‍රදර්ශනයේදී දැක හැකි වන බවත් නවෝත්පාදන සඳහා වෙනම පරිශ්‍රයක්ද එහි ඇතුළත් කර තිබෙන බවත් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ තානාපති කාර්යාල, වානිජ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් විදේශීය ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය හා එක්වීමට සැලසුම් කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී (BMICH) පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිතයි.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව ජුනි 20 සහ 21 දෙදින පුරා (BMICH) හිදී තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව ලෙසින් (Green Industry Initiative for Sustainable Industrial Development) තිරසාර හරිත කර්මාන්ත උදෙසා “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමටද නියමිතව තිබෙනවා.

කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) මඟින් ක්‍රියාත්මක කරන පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව, IDB Digital One Stop, Ceylon Plaza, Industry ණය යෝජනා ක්‍රමය,SEDA Startup, SEDA Scaleup, ඇතුළු බොහෝ වැඩසටහන් රැසක් ප්‍රදර්ශන දින 05 පුරාවටම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම මෙම ප්‍රදර්ශනය සඳහා අමාත්‍යංශ, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් හා සහභාගිත්වය සිදුවෙන බව ද සිහිපත් කළ යුතු බවත් කර්මාන්ත පිළිබඳව ලෝකයේ යාවත්කාලීන වූ නව දැනුම, නව ව්‍යාපාරික අවස්ථා, නව ආයෝජකයන් සහ ආයෝජන අවස්ථා හඳුනාගනිමින් නිෂ්පාදන කර්මාන්තයන් ආරම්භ කිරීමට ද මෙය රුකුලක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles