පවතින ආර්ථිකයත් එක්ක ළමා අපයෝජන සිද්ධීන් වැඩිවීමේ අවදානමක් තිබෙනවා – UNICEF සංවිධානය

ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුනද, පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ළමා අපයෝජන සිද්ධීන් වැඩි වීමේ අවදානමක් පවතින බව UNICEF ශ්‍රී ලංකා සංවිධානය ප්‍රකාශ කරනවා.

වසර ගණනාවක් පැවති යුධ ගැටුම්, සුනාමි උවදුර, COVID-19 වසංගතය සහ වර්තමාන ආර්ථික අර්බුදය ඇතුළු දුෂ්කරතාවයන්ගෙන් දරුවන් ආරක්ෂා කිරීම සඳහා රටක් ලෙස මුහුණ දුන් ජාතික ගැටළු කිහිපයකින් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ප්‍රකාශ කළා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සංවත්සර දිනයේ යෙදුනු පසුගිය නොවැම්බර් මස 20 වනදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.

දරුවන්ට සහ තරුණයින්ට සවන් දීමට සහ ඔවුන්ගේ හඬ අවදිකරමින් ඔවුන්ගේ ක්‍රියාවන්ට සහය ලබා දීම සඳහා UNICEF සංවිධානය විසින් ක්‍රියාත්මක කර ඇති තරුණ උපදේශකයින් පත් කිරීමේ වැඩසටහන යටතේ මෙරට තරුණ උපදේශකයින් ලෙස ජතුජාන් මහේන්ද්‍රන්, තරුෂි වීරසිංහ සහ මෙනුරි සචින්තිකා කොඩිකාර යන තරුණ නායකයින් UNICEF ශ්‍රී ලංකා සංවිධානය සමග නිල වශයෙන් එක්වීමද මෙහිදී සිදුවුණා.

ස්කූග් මහතා සඳහන් කරන්නේ, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කර ගනු ලැබූ සාර්ථකත්වයන් අතර ගෝලීය වශයෙන් ප්‍රතිශක්තිකරණය පවත්වා ගැනීම, ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගෝලීය ප්‍රවේශය 99% ක් ළඟා කර ගැනීම, දරු උපත් 1000 කට 11 බැගින්වූ අනුපාතිකයක් යටතේ එම දරුවන්ගෙන් 5 වැනි උපන්දිනයට පෙර මිය යන දරුවන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ එම අගය නඩත්තු කිරීම සහ ආරක්ෂිත පානීය ජලය සඳහා 88.5% කට වඩා තිරසර ප්‍රවේශයක් ලබා දීම වැනි සාධනීය කරණු ප්‍රධාන වන බවයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා අයවැයෙන් වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ජාත්‍යන්තර මිණුම් දඬු වලට වඩා බෙහෙවින් පහත අගයක පවතින බවත්, එම මුදල් ප්‍රමාණය මෙම ප්‍රගතිය පවත්වා ගැනීමට සහ කාර්යයන් වේගවත් කිරීමට පැහැදිලිවම ප්‍රමාණවත් නොවන බවද ඔහු අවධාරණය කළා.

දරුවන්ගේ පවුල්වල පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ බලපෑමට ලක්වූ දරුවන් සඳහා සේවා සපයන සියලුම විධිමත් ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීම දිරිමත් කළ යුතු බවත්, සියලුම තත්ත්වයන් තුළ ශාරීරිකව දඬුවම් කිරීම තහනම් කිරීමට සහ අපරාධ වලට එරෙහිව කඩිනම් පියවර අනුගමනය කළ යුතු බවත් ඔහු පවසනවා.

1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කර ගෙන ඇති බව එහි සඳහන්.

මෙම සම්මුතිය ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස සම්මතවූ මානව හිමිකම් ප්‍රධාන කර ගත් එකඟතාවයවූ අතර එය ලොව පුරා ළමා අයිතිවාසිකම් විශාල පරිවර්තනයකට ලක් කිරීමටද ඉවහල්වූ බව UNICEF ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

1990 වසරේදී මෙම සම්මුතිය අත්සන් කරනු ලැබූ පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්.

1991 වසරේදී මෙම සම්මුතිය ක්‍රියාවට නැංවීමට සහ ඒ පිළිබඳව වගවීමට කැප වෙමින් එය අනුමත කරන ලදී.

එතැන් සිට, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති නමුත්, ඒ පිළිබඳව තවත් කාර්යයන් කිරීමට ඉතිරිව ඇති බව ස්කූග් මහතා මෙහිදී මාධ්‍ය වෙත අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles