JICA වෙතින් ජපන් යෙන් මිලියන 503 ක ව්‍යාපෘති ආධාරයක්

“සෑම වයස් කාණ්ඩයකම සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තහවුරු කිරීම” තිරසාර සංවර්ධන අභිමතාර්ථයක් වන අතර, වර්ෂ 2030 වන විට අන්තරායකර රසායනික ද්‍රව්‍ය සහ වාතය, ජලය සහ පාංශු දූෂණය සහ අසාත්මිකතා හේතුවෙන් සිදුවන මරණ සහ රෝගාබාධ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමට ඉලක්ක කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ජනනය කරන සෞඛ්‍ය ආරක්ෂණ අපද්‍රව්‍යවලින් 15% ක් පමණ අනතුරුදායක හෝ අසාදිත ස්වරූපයේ එනම් වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය ලෙස සැලකේ. වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් ක්‍රමවේදයක් තුළින්, ඖෂධ, ආසාදිත උපකරණ, කටු සහ තල යනාදී වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, රෝගීන් සහ අමුත්තන්, අනතුරුදායකව නිරාවරණය වීමෙන් වලක්වා ගත හැකි බැවින්, සෞඛ්‍ය සේවා ආයතන තුළ වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය  බැහැර කිරීමේ විධිමත් පද්ධතියක් පැවතිම ඉතා වැදගත් වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සියලුම රජයේ සෞඛ්‍ය සේවා ආයතනවල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇත.

ඉහත කරුණුවලට අනුව, රටේ සමාජ-ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සදහා සහනදායී මූල්‍යයනයන් ලබාදෙන, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන, ජපාන රජය ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වැඩිදියුණු කිරීම සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ජපන් යෙන් මිලියන පන්සිය තුනක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.3 ක) ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට එකඟ වී ඇත.

වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීම පිණිස තෝරාගත් රජයේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය දහන යන්ත්‍ර (incinerators)  සවි කිරීම මගින් සෞඛ්‍ය උවදුරු අවම කිරීමට දායක වීම, මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දහන යන්ත්‍ර (incinerators)  සවි කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි රෝහල් 15 ක් තෝරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ, ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලන පද්ධති,  LP ගෑස් දාහක සහ  පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වූ ධාරිතා දෙකකින් යුත් දහන යන්ත්‍ර 15 ක් (ආසන්න වශයෙන්  පැයට කිලෝග්‍රෑම් 50 ක  දහන  ධාරිතාව සහිත කුඩා දහන යන්ත්‍ර 06 ක් සහ ආසන්න වශයෙන්  පැයට කිලෝග්‍රෑම් 100 ක  දහන  ධාරිතාව සහිත විශාල දහන යන්ත්‍ර 09 ක්) සපයනු ලැබේ. එසේම, අපද්‍රව්‍ය දහන යන්ත්‍ර ස්ථාපනය කිරීමෙන් පසු පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා (TOT) අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම ද ව්‍යාපෘතියේ මෘදු සංරචකයක් ලෙස ලබා දෙනු ඇත

ඉහත ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන රජයේ තානාපති අතිගරු මිසුකොෂි හිදෙයොිසික අවපාතකි මහතා විසින් ද, ප්‍රදාන ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) වෙනුවෙන් ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා මහතා විසින් 2023  අප්‍රියල් මස 26  වන දින මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles