“ අධ්‍යාපනය නැමති එන්නත ළමයින්ට දුන්නම රට ඉබේම හැදෙනවා” ධම්මික පෙරේරා DP Education IT Campus 61 වැනි මධ්‍යස්ථානය විවෘත කරමින් කියයි“

සමස්ථ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි දුවා දරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම, සන්නිවේදන සහ චින්තන කුසලතාවයන් වර්ධනය කිරීම, අනාගතයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවර කරදීම අරමුණු කර ගනිමින් “ඩී.පී.එඩියුකේෂන් ” ව්‍යාපෘතිය ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතියේ 61 වැනි මධ්‍යස්ථානය අනුරාධපුර නගරයේ වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනය මූලික කරගනිමන් පසුගිය ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කෙරුණි. නවීන පරිගණක 40කින් සමන්විත එම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කර සිසු ගත කිරීමේ අවස්ථාව සහ පාඨමාලා 100 සම්පුර්ණ කල සිසුන් සඳහා සහතික පත් ලබාදීම අද (17) පෙරවරුවේ ශ්‍රී භාරතීන්ද්‍ර මහ පිරිවෙන් කෘත්‍යාධිකාරී, වීරසේකරාරාම මූල මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය කුංචුට්ටුවේ ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ කුලපති රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍යතර  ඊතලවැටුනවැවේ ඥානතිලක නා හිමිපාණන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ඩී.පී.එඩියුකේෂන් සභාපති හා නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

“හැම කෙනෙක්ගෙම අතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා කියන්නෙ ලංකාවෙ තියෙන හොඳම ඉස්කොලේ ඔබේ අතේ තියාගෙන ඉන්නව කියන එක. හැබැයි එහෙම තියාගෙනත් ඔයාල ළමයි කිලෝමීටර් දහය, පහලොව සමහර විට ඊටත් වැඩිය ඈතක පාසලකට පන්තියකට යවනව. දැන් බලන්න මේ සැරේ ඒ ලෙවල් වල ගණිත අංශයෙන් පළවෙනිය වුනු ළමයත් , මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ලංකාවෙන් පළවෙනිය වුනු ළමයත්,  තාක්ෂණ විෂයෙන් ගාල්ලෙ පළවෙනිය වුනු ළමයත් ඉගෙන ගත්තේ අපෙන්. අධ්‍යාපනයට තමයි අපි ප්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ. ලෝකයේ කිසිම රටක් අධ්‍යපානය නැතුව දියුණු වෙලා නැහැ. නූගත් මිනිස්සු ඉන්න කිසිම රටක් දියුණු වෙලත් නැහැ. ඔයාල හිතනවනම් මේපැත්තේ තියෙන පොස්පෙට් නිදිය හරි සිලිකා නිදිය හරි විකුණල දියුණු වෙන්න පුලුවන් කියල, ඒක විකුණුවම සල්ලි ගෙදරටම ලැබෙයි කියල ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ ස්වාභාවික නිධි දෙකම විකුණල ලබා ගන්න මුදලට වඩා වැඩි මුදලක් මේ පැත්තේ ළමුන්ට හරි අධ්‍යාපනය ලබා දුන්නම ලබාගන්න පුලුවන්. අධ්‍යාපනය නැතුව සල්ලි හම්බ කරන්නත් බැහැ. අධ්‍යාපනය තිබිය යුතුමයි සල්ලි හම්බ කරන්න. මම දුප්පත් කම නැත්තටම නැති කරන්න තමයි මේ ඩී.පී. එඩියුකේෂන් කැම්පස් එක පටන් ගත්තේ. ඒක මට කරන්න පුලුවන්. ඔයාලට තියෙන්නේ මේ තියෙන පාඨමාලා ටික ඉගෙන ගන්න විතරයි. මේ පාඨමලා ඉගෙන ගන්න ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. හැබැයි ඒ පාඨමාලාතුල ඉංග්‍රීසිත් තියෙනවා. ඩී.පී.එඩියුකේෂන් පාඨමාලා තුල ඉංග්‍රිසි වචන 1000 කට අධික සංඛ්‍යාවක් අපි ඇතුලත් කරල තියෙනවා. එතකොට ළමයි නිකම්ම ඉංග්‍රීසිත් ඉගෙන ගන්නවා.” යැයි ධම්මක පෙරේරා මහතා පැවසුවේය.

තවදුරටත් අදහස් දක්වමින් “ඒකාලේ ඔයගොල්ලන්ගේ මුතුන් මිත්තො තමයි මේ ප්‍රදේශයේ ශිෂ්ඨාචාරය ගොඩනැගුවේ. එයාල තමයි මේ ප්‍රදේශයේම වෙහෙර විහාර, වැව්, පන්සල් හැදුවේ. මේ කාලේ 21 වන ශතවර්ෂයට අවශ්‍ය ශිෂ්ඨාචාරය තමයි මම මේ හදන්නේ. ඒකට අවශ්‍ය පරිගණකයක් විතරයි. දැන් මේ අනුරාධපුර නගරයේ තියෙන ඒ.පී. එඩියුකේෂන් කැම්පස් දෙකතුල සිසුන් 2300ක් ඉගෙන ගන්නවා. මගේ ඉලක්කය ළමුන් මිලයනයක් ඒ කියන්නේ ළමුන් දස ලක්ෂයක් දෙනාට උගන්වන්න. මේ වන විට මම මගේ පෞද්ගලික ධනයෙන් රුපියල් බිලියන 2500ක් යොදවල අවසන් ළමුන්ට උගන්වන්න. අධ්‍යාපනය නැමති මේ එන්නත ළමයින්ට දුන්නම රට ඉබේම නැගිටිනවා. මටත් ඕන මේ රට නැගිට්ටවන්න. දැන් විශ්වවිද්‍යාල ගත්තොත් රැකියා විරහිත උපාධිධාරීන් තමයි හදන්නේ. හැබැයි දැන් රැකියා විරහිත උපාධිධාරීන් වැල නොකැඩී අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම මගේ ඊලඟ සිහිනය තමයි මේ ප්‍රදේශයේ ඉගෙන ගත්ත ළමුන්ට මේ ප්‍රදේශයන්ම, මේ අනුරාධපුරෙන්ම රැකියා හොයල දෙන එක. ඔයාල පාඨමාලා සියල්ල සම්පූර්ණ කලාම ඔයාලට රැකියාවක් මේ ප්‍රදේශයෙන්ම ලබා දෙන්න මට පුලුවන්. ඒ වගේම මම පිරිවෙන් අධ්‍යාපනය නංවන්නත් වැඩ පිළිවෙලක් සකස් කරල තියෙනවා. ලබන අවුරුද්ද වන විට මට පුලුවන් ලංකාවේ සියලුම පිරිවෙන් සඳහා Smart Class Room ලබා දෙන්න. දැනට පිරිවෙන් 400ක් සඳහා මම Smart Class Room ලබා දීල තියෙනවා.” යැයි ඩී.පී. එඩියුකේෂන් සභාපති නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ප්‍රධාන දේශනය පවත්වමින් පැවසීය.

ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, තාක්ෂණික දැනුමෙන් සන්නද්ධව ගෝලීය වශයෙන් තරඟකාරීත්වයක් ලබා දිය හැකි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බිහිකිරීම, ඉහළ වැටුප් හිමි රැකියා ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ප්‍රවේශ වීමේ දොරටු විවෘත කිරීමේ බලාපොරොත්තු පෙර දැරිව නවීන පරිගණක 7000ක් ලබා දෙමින් ඉදිරි වර්ෂ තුන ඇතුලත සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ඩී.පී.එඩියුකේෂන් මධ්‍යස්ථාන විවෘත කිරීම ධම්මික මහතාගේ බලාපොරොත්තුවයි.  

මෙම උත්සවය අවස්ථාවට සහභාගී වූ රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරී හිමියන් පැවසුයේ  “මේ දරුවන්ගේ ජීවිත අපිට හරි වටිනවා. මිනිස්සුන්ගේ වටිනාම වස්තුව තමයි දරුවන්. ඒ වටිනාම වස්තුවට දිය යුතු වටිනාකම යම් ප්‍රමාණයකින් හරි දෙන්න ඔබ තුමාට පුලුවන් වෙලා තියෙනවා. ඒකට අපි ඔබතුමාට ස්තුතිය පුද කරනවා. මේ ඉන්න ළමයින්ගෙන් එක් ළමයකු හරි අලුත් විදියට හිතුවොත්  ඒ ළමයට පුලුවන් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න. ඉතින් ඒ නිසා අලුත් විදියට අපි හිතන්න ඕන. ඒ වෙනස් විදියට අලුතින් හිතුව නිසා තමයි අපේ මේ ධම්මික මහත්තය මේ විදියෙ වැඩක් කරන්නෙ. කාලය රන් හා සමාන උනාට ඒක වටින්නේ යොදාගන්නා ආකාරය අනුව. ඒ කාලයට වටිනාකමක් දෙන්න ඔබතුමාට අද පුලුවන් වෙලා තියෙනවා. ඒ ඔබතුමාගේ   ඩී.පී. එඩියුකේෂන් කියන ව්‍යාපෘතිය තුලින්. මේ අභියෝගාත්මක කාලයේ අභියෝගාත්මක ප්‍රශ්න ගැටළු මධ්‍යයේ ජීවත්වන දෙමාපියන්ට ඔබ දුන්නේ ලොකු තෑග්ගක් කියලයි මම හිතන්නේ. නායකයකුට හොඳ දැක්මක් තියෙන්න ඕන  හොඳ දර්ශනයක් තියෙන්න ඕන. ඔබතුමාට ඒ හොඳ දැක්මත් දර්ශනයත් දෙකම තියෙනවා. ගලක් අරගෙන ඒ ගලේ දේවරූපයක් කැපුවම ඒ දේව රූපයට මිනිස්සු වඳියි පුදයි. හැබැයි ඒ ගලෙන් ඒ දේව රූපය නිර්මාණය කරපු නිර්මාපකයා ආචරියෙක් බවට පත්වෙයි. නැත්නම් ගල් වඩුවෙක් බවට පත්වෙයි. හැබැයි ඒ ආචරිය ගල්වඩුව ඒ දේවරූපය දිහා බලල, ඒ දේව රූපයට මිනිසුන් වඳිනවා දැකල සතුටු වෙනවා. ඒ වගේ තමයි ඔබතුමාටත් මේ නිර්මාණ දැකල සතුටු වෙන්න පුලුවන්. ඔබතුමාටත් වඩා ඉදිරියට යන දරුවො මේ ළමයි අතර ඉඳීවී. එදාට ඔබතුමත් අර ගල්වඩුව වගේම මේ ළමයි දිහා බලල සතුටු වෙන්න පුලුවන්. වේදිකාව හදන මිනිස්සු වේදිකාවේ සම්මාන ගන්නේ නෑ කියල කියමනක් තියෙනවා. ඔබතුමාත් දැන් මෙතන වේදිකාවක් හදල තියෙන්නේ. මෙතන ළමයි සම්මාන ගනිවී. ඒ තුලින් අප සියලු දෙනාටම සතුට සැනසීම උදා වේවි.” යැයි රුවන්වැලි චෛත්‍ය රමාධිකාරී පුජ්‍යතර ඊතලවැටුනුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ අදහස් දක්වමින් පැවසුවේය.

ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පස්” හි අධ්‍යාපනය සාර්ථකව අවසන් කරනු ලබන සිසුන් සඳහා මොරටුව විශ්වවිද්‍යාලය, කැළණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්ව විද්‍යාල තුලින් උපාධි ලබා ගැනීමේ අවස්ථාවක්ද ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ට හිමිකර දී ඇත.

ක්‍රමලේඛනය හෝ රොබෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මෙම මධ්‍යස්ථාන වෙත පැමිණ ඉගෙනගැනීමේ අවස්ථාව ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා සලසා ඇති බවද සතුටින් පැවසිය යුතුය.

වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේ පැවති මෙම උත්සව අවස්ථාව සඳහා අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරල් (පිරිවෙන්) රාජකීය පණ්ඩිත කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි පානන් වහන්සේ, සමස්ත ලංකා ශසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෝක තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති පුජ්‍යතර මුගුණුවෙල අනුරුද්ධ නා හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍යාය දූරන්දර වඩිගවැවේ විපස්සි නා හිමිපාණන් වහන්සේ, අනුරාධපුර  දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යතර නුගේතැන්නේ පඤ්ඤාණන්ද නා හිමිපාණන් වහන්සේ, උතුරු මැද පළාත් පිරිවෙන් අධ්‍යක්ෂක මාවතවැවේ රතනවංශ නා හිමි පාණන් වහන්සේ, සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ ඇතාබැඳිවැවේ උපාලි නා හිමි පාණන් වහන්සේ , සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක මැණික්හින්නේ ධීරානන්ද නා  හිමිපානන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා, දෙමාපියන් සහ සිසු දරු දැරියන් 2700කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles